SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ඇමෙරිකානු ජනාධිපතිවරයකු ධුරය දැරූ සමයේදී ගත් රාජාකාරී තීරණ අභියෝගයට ලක් කරමින් ඔහුට කිසිම විටකත් නඩු පැවැරිය නොහැකි බවත්

එය හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ටද අදාළ වන බවත් ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.

 

එම වරප්‍රසාදය ජනාධිපති ධුර කාලය තුළදී රාජකාරි ජීවිතයෙන් ඔබ්බට දිව යන බවත් ඒ හේතුවෙන් ඩොනල්ඩ් ට්‍රම්ප්ට විරුද්ධව අපරාධ චෝදනා ගොනු කිරීමේදීද යම්තාක් දුරට බාධාවක් පවතින බවත් ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දුවේ සඳහන් වේ. විනිසුරුවන් 9 දෙනකුගෙන් යුත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් යටතේ 2020 ජනාධිපතිවරණයේ මැතිවරණ ප්‍රතිඵල වෙනස් කිරීමට කුමන්ත්‍රණය කිරීම සම්බන්ධයෙන් ට්‍රම්ප්ට එල්ලවූ චෝදනා අභියෝගයට ලක් කරමින් ගොනුකළ අභියාචනය විභාග වූ අතර විනිසුරුවන් 6 දෙනකුගේ එකඟත්වයෙන් තීන්දුව ප්‍රකාශයට පත් කෙරිණි.

 

ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුව ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව 2020 ජනාධිපතිවරණයේ මැතිවරණ ප්‍රතිඵල වෙනස් කිරීමට කුමන්ත්‍රණය කිරීම යටතේ ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව ගොනුකර ඇති චෝදනා විභාග කරන විනිසුරුවරිය වන දිසා විනිසුරු ටාන්යා චුට්කන් වෙත එම නඩු තීන්දුව යොමුකර තිබේ. එම නඩුව මාර්තු මාසයේ විභාගයට ගැනීමට නියමිතව තිබුණත් ට්‍රම්ප්ට හිටපු ජනාධිපතිවරයකු ලෙස හිමි මුක්තිය සම්බන්ධයෙන් විභාග වූ අභියාචනය අවසන් වන තෙක් මාස 7 ක කාලයක් බලා සිටීමට වොෂින්ටන් අධිකරණයට සිදුවිය.



ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවත් සමඟ ඩොනල්ඩ් ට්‍රම්ප්ට විරුද්ධව ගොනුකළ හැකි චෝදනා මොනවාද කළ නොහැකි චෝදනා මොනවාද යන්න පිළිබඳව එම තීන්දුව අදාළ කර ගනිමින් නැවත වරක් තීරණය කිරීමට දිසා විනිසුරු ටාන්යා චුට්කන් සිදුවනු ඇති බවත් කල් ලබා දුනහොත් නඩු පැවැරිය හැකි චෝදනාවක් දෙකක් සොයා ගැනීමට ඇයට හැකියාව තිබුණත් ජනාධිපතිවරණයට පෙර එය සිදුකිරීම කිසිසේත්ම කළ නොහැකි බවත් නීති විශාරදයෝ පැවැසූහ.

එසේම ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හේතුවෙන් නිව් යෝර්ක් අධිකරණයේදී චෝදනා 34 කට වරදකරු කරමින් ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව ලබා දුන් නඩු තීන්දුව අභියෝගයට ලක් කරමින් මෝසමක් ගොනු කිරීම සඳහා අවසර ඉල්ලමින් ට්‍රම්ප්ගේ නීතිඥවරුන් විනිසුරු ජුවාන් මර්චන් වෙත ලිපියක්ද යොමුකර ඇත.  ලිපිය පිළිගතහොත් එළඹෙන 11 වැනිදාට නියමිත එම චෝදනාවලට දඬුවම් නියම කිරීම තවත් ප්‍රමාද වනු ඇති බවත් එය ප්‍රතික්ෂේප වුවත් ඩොනල්ඩ් ට්‍රම්ප්ට චෝදනා 34 සඳහා සිර දඬුවමක් නියම නොවෙනු ඇති බවත් නීති විශාරදයෝ ප්‍රකාශ කළහ.

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව සම්බන්ධයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රසාදය පළ කර ඇති අතර ජනාධිපති බයිඩන් එම තීන්දුව දැඩි ලෙස විවේචනයට ලක් කර ඇත.

 

@විමුක්ති එස් රුද්‍රිගු

lankadeepa