SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

පාඨලී  චම්පික  රණවක විසින් රචිත ස්වයං ලිඛිත චරිතාපදානය වූ “පටිසෝතගාමීව තිස් වසක්” කෘතියේ දෙවන කොටස.

සරසවිය අරගලයෙහි උරගලයි...

 

කෙතරම් අපිළිවෙළට විභාගය කළත්, උසස් පෙළ මා සමත් වූයේ කළුතර දිස්ත්‍රික්කයේම පළමුවැන්නා ලෙසයි. මට ශිෂ්‍යත්ව කීපයක්ම ලැබීමට නියමිත වූවත් මගේ ආඩම්බරකම විසින්, ඒවා ප්‍රතික්ෂේප කෙරිණි. එයින් සිදුවුණේ අම්මාටත්, අක්කාටත් මා බරක් වීමය. මම මොරටුවේ ඉංජිනේරු පීඨයට ඇතුළත් වූයෙමි. ඉංජිනේරු පීඨයට මා ගිය පළමු දවස අද මෙන් මට මතකය. මගේ පුරුද්ද වූයේ කොපි පොත හෝ ෆයිල් කවරය දෙකට නවා කලිසම් සාක්කුවේ දමාගෙන යෑමය. මා පළමු දවසේම විශ්ව විද්‍යාලයට ගියේ ඒ ලෙසය. ඇතැම් ජ්‍යෙෂ්ඨ සිසුන් නවකයින්ට බාධා කිරීම සඳහා පෙළ ගැසී සිටි අතර, මට කිසිදු බාධාවක් වූයේ නැත. නවකයින්ගේ ඉංග්‍රීසි දැනුම සඳහා විභාගයක් පැවැත්වුණු අතර, විභාග ශාලාව සොයා ගන්නාවිට හොඳටම පමා වී තිබිණි. එහි දී මට දැනගන්නට ලැබුණේ මුළු පාඨමාලාවම පවත්වන්නේ ඉංග්‍රීසියෙන් බවය. එවකට මගේ ඉංග්‍රීසි දැනුම තිබුණේ බොහෝ දුර්වල තැනකය. අප, සිංහලෙන් වසර 12ක් අධ්‍යාපනය ලබා තිබිණි. මෙය මහත් අසාධාරණයක් බව මට වැටහිණි. කැරැලිකාරී ලෙස නැගී සිටින්නට අවශ්‍ය පළමු පසුබිම පළමු දිනයේදීම ගොඩනැගිනි. විභාගය ලියා එළියට එන මාව ජ්‍යෙෂ්ඨයින්ට හසුවිය. ඔවුන් මට කලින් බාධා කිරීම් කර නැත්තේ මා ජ්‍යෙෂ්ඨයෙකු ලෙස සිතාය. මගේ උසත්, කිසි පැකිලීමක් නැති ගමනත්, සාක්කුවේ ෆයිල්කවරය දමාගෙන යෑමත්, ඒ වැරැදීමට හේතු විය.

 

මටත්, නවකවදය ලැබිණි. එය බරපතල දෙයක් නොවූවත් නවක වදය තුරන් කිරීමට එය මට අධිෂ්ඨානයක් විය. පසුව මට පෙනී ගියේ නවක වදයට යොමුවන්නේ වෙනත් කිසිම හැකියාවක් නැති, ලිංගික හෝ පන්ති පීඩනයන් සහිත පුද්ගලයින් බවය. අපි දෙවන වසරට පා තබනා විට පෞද්ගලිකවම ගොස් නවකයින් රැක්කෙමු. මා හා සමාන අදහස් දරනා බොහෝ ජ්‍යෙෂ්ඨයින් ද සිටිනා බව මට අවබෝධ විය. අපේ උත්සාහය තරමකට සාර්ථක විය. මා සිතන්නේ අද දක්වා මොරටු ඉංජිනේරු පීඨයේ නවක වදය අතිශය සීමාකාරී එකක් බවය. නමුත්, ජයවර්ධනපුර, කැලණිය, රුහුණ වැනි විශ්ව විද්‍යාලවල මා අත්දැක ඇති සත්‍යය නම් පරපීඩක කාමුකත්වය, පන්ති වෛරය, තමන්ගේ බෝල්ෂෙවික් දේශපාලනයට පුද්ගලයින් දිනාගැනීම, නේවාසිකාගාරවල පීඩක ආඥදායකත්වයක් පවත්වා ගැනීම ආදිය අරමුණු කරගෙන නවක වදය පවත්වා ගෙන යන බවය. නවක වදය වැළැක්වීම පිටතින් නීති ගෙනඒමෙන් පමණක් නොව විශ්ව විද්‍යාල ඇතුළතින්ම ඇතිවන ව්‍යාපාරයකින් කළ යුත්තකි. බි්‍රතාන්‍යයේ ප්‍රභූවරුන් සාමාන්‍ය දරුවන් තම විශ්ව විද්‍යාල සම්ප්‍රදායට ඇතුළත් කරගැනීම සඳහා ඇතිකළ සම්ප්‍රදායක් පරපීඩක කාමුකයන්ගේ හා ප්‍රජා පීඩක රතු සහෝදරවරුන්ගේ අතකොළුවක් වීමට ඉඩදිය යුතු නැත.

 

විශ්ව විද්‍යාලයේ පළමු වසරේ දී මට පෙනී ගියේ මා පමණක් නොව මට පහළින් තවත් අති විශාල පිරිසක් ඉංග්‍රීසිය නිසා දුක් විඳිනා බවය. ඉංග්‍රීසි නොතේරීම නිසා පළමු වසර අසමත්ව ගෙදර ගොස් සාර්ථක ව්‍යාපාරිකයන් බවට පත්වූවන් ගැන ද, ඉංග්‍රීසි නොතේරීම නිසා ගෙදර ගොස් හොඳින් ඉංග්‍රීසි උගෙනගෙනවුත් අතිසාර්ථක දේශීය ඉංජිනේරුවන් වී මහා ජලාශ හා වාරී කර්මාන්ත සුද්දන්ගේ ඇස්තමේන්තුවලින් 1/4කට කළ විශ්වකර්මයන් ගැනද, අපේම විශ්ව විද්‍යාලයේ ආචාර්ය මහාචාර්ය පදවි මෙන්ම විදේශ විද්‍යාලවල ආචාර්ය මහාචාර්ය පදවි ලබාගත්තවුන් ගැන ද මම දනිමි. විශ්ව විද්‍යාලයට ඒමට පෙරත්, පාඨමාලා ඇරඹීමට පෙරත්, පාඨමාලා ඇතුළතත්, ඉංග්‍රීසි බස උගෙන්වීමේ විධිමත් ක්‍රමයක් සකස් කරගැනීමට සහ පළමු වසරේ දී සිංහල-දෙමළ බසින් පැහැදිලි කරගැනීමට ප්‍රමාණවත් උපදේශකයන් ලබාගැනීමට උපරිම සටනක් දියත් කළෙමි. අපේ උපකුලපති වීලි මැන්දිස්, මහාචාර්ය පී.ඒ.ඩී.සිල්වා, මහාචාර්ය ජී.ටී.එෆ් සිල්වා (පසුව උපකුලපති විය) ආදීන් අපේ සටනට සහාය ලබාදුන් අතර, අපට පහළින් පැමිණි සිසුහු ද එයට සහාය දැක්වූහ.

 

සමහරුන් සිතන්නේ 1956 සිංහල රාජ්‍ය භාෂාව කිරීම නිසා ගම්වලින් පැමිණි අපවැනි අයට ඉංග්‍රීසිය නිවරදිව හැදෑරීමට උසුරුවීමට නොහැකි වූ බවය. 2000 මැතිවරණයේ දී සිහළ උරුමයේ වැඩිම මනාප හා මනාප ප්‍රතිශතය ගත් මා ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයා ලෙස පත්නොකළ යුත්තේ විදේශ ජනමාධ්‍ය ඉදිරියේ ඉංග්‍රීසියෙන් කරුණු දක්වන්නට මා අසමත් නිසා බව අපේ හිතවත් මධ්‍යම කාරක සභිකයෙක් ප්‍රකාශ කළේය. නීති විද්‍යාලයේ කටයුතු ද ඉංග්‍රීසියෙන් කළයුතු බවට එවකට අගවිනිසුරු සරත් සිල්වා මහතා කළ යෝජනාව තුළ ගැබ්වූයේ ද විදේශ නඩු තීන්දු කියැවීම හා දේශීය ලෙස ඉංග්‍රීසියෙන් නඩු තීන්දු ලිවීමට හැකියාව ලබාදීම ගැනය. මා වඩාත්ම මවිතයට පත්වූයේ 1988 ජනාධිපතිවරණයේ දී පොදු ප්‍රතිපත්ති සැකැසීම් කටයුතුවලදී ඉංග්‍රීසි ද රාජ්‍ය බසක් වියයුතු බවට ජ.වි.පෙ ඉදිරිපත් කළ යෝජනාවය. ඔවුන්ගේ සාමාජිකයන් හා නායකයින් කිසිවෙකුට ජන්ම ඉංග්‍රීසිය කතා කිරීමට හෝ ලිවීමට නොහැකි බව මම දැන සිටියෙමි. මා පරිසර ඇමැති වූ විට මගේ ජපන්, කොරියන්, සිංගප්පූරු රාජ්‍ය තාන්ත්‍රිකයන් නිතරම මට කීවේ ලංකාවේ දියුණු ඉංග්‍රීසි භාවිතයෙන් විපුල ඵල නෙළාගැනීමට තවමත් අසමත් වී ඇත්තේ අපගේ පටු බටහිර විරෝධය නිසා බවය. පිළිතුරු ලෙස මා ඔවුනට නිතරම කීවේ ඊශ්‍රායලය සිය සියලූ විද්‍යාත්මක හා වාණිජ කටයුතු සාර්ථක කරගත්තේ අන් කිසිවෙක් කතා නොකරන හීබෘෘ බසින් බවය.

 

සාතිශය බහුතරයක් වෛද්‍යවරුන්, ඉංජිනේරුවන්, නීතිවේදීන්, කළමනාකරුවන් කටයුතු කරන්නේ සිංහල (හෝ දෙමළ) භාවිතා කරන්නන් සමගය. අපේ “වෙළෙඳ පොළ” සිංහල එකකි. ඉතා සුළු වශයෙන් අපට ඉංග්‍රීසි සමාජයන් හා වෙළෙඳ පොළ හමුවේ. ඉතින් මේ සුළුතරය වෙනුවෙන් බහුතරය බලයෙන් ඉංග්‍රීසියට දැමීම කිසිසේත් සාධාරණ නොවේ. එය ඔවුනගේ ජන්ම අයිතිය උදුරා ගැනීමකි. කෙසේ වෙතත්, අන්තර්ජාතික භාෂාවක් ලෙස අද ලෝකයේම උසුරුවන ඉංග්‍රීසිය ඉගෙන ගැනීමෙන් වාසියක් මිස අවාසියක් නම් නැත. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ භාෂා හයක් ඇතත්, බොහෝදුරට භාවිතා වන්නේ ඉංග්‍රීසියම බව ජාත්‍යන්තර සමුළුවල දී මා හට තේරුම් ගිය කරුණකි. ඉංග්‍රීසි යනු හැඳි - ගෑරුප්පු වැනිම ඇතැම්විට ප්‍රයෝජනවත් උපකරණයකි. උපකරණය අපේ සිරුර බවට පත්වීමට ඉඩදිය යුතු නැත.

 

අපේ විශ්ව විද්‍යාල පාඨමාලා ගැන ද යමක් කිව යුතුය. අපි විශ්ව විද්‍යාලයේ දී චන්ද්‍රිකා ගැන, තරංග සිද්ධාන්ත ගැන, රොකට් තාක්ෂණය ගැන ඉගෙන ගන්නා නමුදු රැකියා කිරීමේදී වඩා වැදගත් වන්නේ එකී ඉහළ ඉංජිනේරු දැනුම නොව සේවකයින් කළමනාකරණය කරගැනීමේ හැකියාවයි. මගේ වෛද්‍ය  හිතමිතුරන්  කියන්නේත්  ඔවුන්  උගත්  දෑ,  ප්‍රායෝජනයට ගැනෙන්නේම නැති තරම් බවය. අපි ඉංජිනේරු - වෛද්‍ය ආදී වෘත්තිකයන් බිහිකරන්නේ රටේ අවශ්‍යතා මත නොව බටහිර රටවල සම්මත අනුවය. බටහිර රටවලට උසස් අධ්‍යාපනයට යන්නේ ඉතා සුළු පිරිසකි. නමුත් ඒ සුළු පිරිස වෙනුවෙන් විශ්ව විද්‍යාල පාඨමාලාවන් ද, උසස් පෙළත්, සාමාන්‍ය පෙළත්, බාල අංශයත් සිය පාඨමාලා සකසයි නම් එතැන ඇත්තේ මහා අවුලකි. එපමණක් නොවේ. විෂයෙහි අති දක්ෂයින් සිය උසස් අධ්‍යාපනය සඳහා තෝරාගත යුත්තේ ෙසෙද්ධාන්තික විද්‍යාවන්ය. නමුත් අපේ රටේ වන්නේ වැඩි ලකුණු ගත් සිසුන් ඉංජිනේරු - වෛද්‍ය වැනි ප්‍රායෝගික වෘත්තීන්ට නැඹුරු වීමත්, අඩු ලකුණු ගත්තවුන් භෞතික - ගණිත - ජීව - රසායන ෙසෙද්ධාන්තික අධ්‍යාපනයට යොමු වීමත්ය. මෙය ඒ ක්ෂේත්‍ර දෙකම බිඳ වැටීමට හේතු සාධක වී තිබේ. මගේ හැඟීම නම් උසස් පෙළ හා විශ්ව විද්‍යාල දෙවන වසරේදී පමණ අති දක්ෂයින් තෝරාගෙන ඔවුන් අන්තර්ජාතික මට්ටමට පුහුණු කරනා අතරේ සෙසු බහුතරය රටට ගැලපෙන පාඨමාලාවලට යොමුකළ යුතු බවය.

 

අප විශ්ව විද්‍යාලයට ඇතුළු වූ මාසයේ දීම ප්‍රබල ශිෂ්‍ය සටනක් ඇවිලී ගියේය. ජේ.ආර්. පාලනය 1983 ජූලි කෝලහාලවලින් පසු ජ.වි.පෙ හා වාමාංශික පක්ෂ සමග ශිෂ්‍ය සභා ද තහනම් කර තිබිණි. ශිෂ්‍යයින් දේශපාලන වශයෙන් එකමුතු වී ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටු තනාගෙන තිබූ අතර, ඒවා සඳහා නිල ඡන්ද විමසීමක් නොවීය. 1984 දී පේරාදෙණිය විශ්ව විද්‍යාලය ඇතුළත පොලීසියක් පිහිටුවීමත් සමග ශිෂ්‍යයින් සාමාන්‍ය නීතියට සමානද නැත්නම් උඩින් සිටීද යන්න ගැන විවාදයක් විය. ඉතාලියේ බොලෙඤ්ඤෝ නගරයේ නූතන විශ්ව විද්‍යාල බිහිවන විට එහි තිබූ ස්වාධිකාරය (Autonomy) යන්නෙන් අදහස් වූයේ විශ්ව විද්‍යාල සිසුන් සාමාන්‍ය නීතියට යටත් නොවනා බවය. වැඩිකලක් ඒ සංවාදය පේරාදෙණියේ නොපැවති අතර, බීමතින් සිටි සිසුන් පිරිසක් අත්අඩංගුවට ගැනීමත්, සිසුන් පොලීසිය වටලෑමත්, පොලිස් වෙඩි පහරින් සිසුවෙකු මිය යෑමත්, (පද්මසිරි අබේසේකර) සිදුවිය. (1984) එයට ප්‍රචණ්ඩ ලෙස විරෝධය පෑ කොළඹ විශ්ව විද්‍යාලයේ ද සිසුවෙකු (රෝහණ රත්නායක) මිය ගියේය. එය 1976 දී වීරසූරිය සිසුවා ඝාතනයට එරෙහිව සිරිමාවෝගේ පාලනයට එරෙහිව නැගුණු සිසු රැල්ල තරම්ම ප්‍රබල ලෙස නැග ආවත්, එයට ජනතා සහායක් නොවීය. 1985 දී පුද්ගලික විශ්ව විද්‍යාල නීතිගත කිරීමටත්, තහනම් කළ ශිෂ්‍ය සභා අහෝසිකර ශිෂ්‍ය සුභසාධන සමිති පිහිටුවීමටත්, එරෙහිව සටන ආරම්භ විය. අපි පෙළපාළි ගියෙමු. මාර්ග අවහිර කළෙමු. වර්ජන කළෙමු. පාසල් සිසුන් එයට ඇද ගැනීමට ක්‍රියා කළෙමු. කම්කරු පන්තිය අවදිකිරීම සඳහා වැඩ පොළවලට ගියෙමු. පුදුමයකට රජය අපට පහරදීම සඳහා යොදාගත්තේ ද ජාතික සේවක සංගමයේ කම්කරුවන්ය. ඒ දිනවල (1989) රත්මලානේ හිරාණි කම්හලේ සේවක අරගලයක් වූ අතර, මාස ගණනක් අපි එයට ද සහාය දැක්වීමට ගියෙමු. අන්තිමේදී කම්කරු පන්තිය අපටත් නොකියා වැඩපළට ගියේය. කම්කරුවන් ගැන මාගේ විශ්වාසය තවදුරටත් බිඳ වැටිණි. කම්කරුවන් සටන් කරන්නේ ආර්ථීක වුවමනා සඳහා පමණක් බවත්, දේශපාලන වුවමනා ජයගැනීමට කම්කරු පක්ෂයක් අවශ්‍ය බව ලෙනින් කළ යුත්තේ කුමක්ද? (1905) කෘතියේ කියා ඇති බවත් අපේ සරසවියේ න්‍යායාචාර්යවරයා වූ කැමිලස් සිල්වා (ඔහු ජ.වි.පෙ හිටපු පූර්ණ කාලීනයෙකි) අපට පැහැදිලි කර දුන්නේය. කම්කරුවන්ට ඇත්තේ තමන්ගේ පඩිය වැඩිකර ගැනීම පිළිබඳ ආර්ථීක විඥානය පමණක් නම් විප්ලවයක් කිරීමට කම්කරු පන්තිය එක විඥානයකින් බැඳී පවතින්නේ කෙසේද යන්න මගේ තර්කය විය. පන්තිය වෙනුවට පක්ෂය කැමිලස්ගේ සූත්‍රය විය. මේ තර්ක විතර්කවලින් මාක්ස්වාදය පිළිබඳ මගේ සැකය තවත් වැඩිවිය. ඒ දිනවල බොහෝ විප්ලවකාරී සිසුහු සිය ලියන මේස මත ලෙනින්ගේ එකතු කළ කෘති දොළහ තබාගෙන සිටියහ. මේවා එකින් එක මම කියවන්නට වීමි. මට හැඟී ගියේ ඒවා බොහෝමයක් සනාතනික කරුණුවලට වඩා ඒ අවස්ථාව සඳහා ලෙනින් තනාදුන් සූත්‍රයන් බවය. කම්කරු පන්තිය වෙනුවට කම්කරු පක්ෂය, ධනවාදී විප්ලවය, සමාජවාදී විප්ලවය සමග එකට කිරීම (ට්‍රොස්ට්කිගේ නොනවතින විප්ලවය) වැනි සූත්‍ර කෙසේ හෝ බලය අල්ලා ගැනීම සඳහා ගොඩනඟන ලද කතා බව මට හැඟී ගියේය. මා මාක්ස්වාදය හදාරන්නට, හදාරන්නට එයින් වඩ වඩා ඈත්වීම ද සිදුවිය.

 

1985 මැයි 14 දා ත්‍රස්තවාදීන් අනුරපුර ශුද්ධ නගරයට පහරදුන් අතර, අසරණ උවැසි උවැසියන් 150ක් පමණ ජය ශ්‍රී මහාබෝධිය අසල ඝාතනය කරනා ලදි. මා පසුව පරිසර ඇමැති ලෙස විල්පත්තු උද්‍යානයට ගියවිට (2007) මා දුටුවේ විල්පත්තුවේ සේවකයින් 18 දෙනෙකු ද එදිනම මරාදමා ඇති බවය. අපේ විශ්ව විද්‍යාලයේ ඒ දිනවල දෙමළ ඛෙදුම්වාදයට හිතවත් දෙමළ සිසුහූ ද, දෙමළ ජනයාට වෙන්වී යෑමේ අයිතියක් ඇතැයි කී මාක්ස්වාදී විප්ලවවාදීහූ ද සිටියහ.

 

අනුරපුර ප්‍රහාරය ගැන ඔවුන් සියල්ලන්ගේ අදහස වූයේ ශ්‍රී ලංකා හමුදා අහිංසක දෙමළ වැසියන් ඝාතනය කරනා නිසා මේ ඝාතනය ද එකට එක කිරීමක් ලෙස සැලකිය හැකි බවය. මම එය පිළිනොගනිමි. අනුරපුර ඝාතනය මගේ දේශපාලන ජීවිතයේ තවත් කඩඉම් ලක්ෂයක් විය.

 

වියට්නාම් හා කොරියා යුද්ධවලදී ප්‍රංශ, එක්සත් ජනපද හමුදා ලක්ෂ ගණන් මිනිසුන් මරත්දී වියට්නාම් හෝ කොරියා විමුක්ති හමුදා ඔවුනට ඒ සඳහා අසාමාන්‍ය හැකියාවක් තිබියදීත්, ප්‍රංශයේ, බ්‍රිතාන්‍යයේ හෝ එක්සත් ජනපදයේ නිරායුධ ජනයා එකට එක කිරීමක් ලෙස මරා දැම්මේ නැත. වේලූපිල්ලේ ප්‍රභාකරන් හා ඔසාමා බින්ලාදන් දෙදෙනාම විමුක්තිකාමීන් නොවී හුදු ත්‍රස්තවාදීන් වන්නේ ඔවුන් නිරායුද ජනයා මරා දැමීම රාජ්‍ය හමුදා සමග යුද්ධයේ උපායක් කර ගැනීම නිසාය.

 

මෙතෙක් කලක් නිරීක්ෂකයෙකු ලෙස ජේ.ආර්ට පහරදෙන දෙමළ ත්‍රස්තවාදය දෙස යටි සිතින් සතුටුවෙමින් බලා සිටි මගේ දෑස් ඇරුණේය. දෙමළ ත්‍රස්තවාදීන් සටන් කරමින් සිටින්නේ ජේ.ආර් හෝ යූඑන්පීය සමග පමණක් නොව සිංහල වීම නිසා අප සියලූ දෙනාම සමග බව පළමුවරට මට ගැඹුරින් තේරුම් ගියේය. එදින සිට ජේ.ආර්.ටත් වඩා වැඩියෙන් මම දෙමළ ත්‍රස්තවාදයට එරෙහිව ක්‍රියාකරන්නට පටන් ගතිමි. එය දෙමළ ත්‍රස්තවාදය සහමුලින් අතුගෑවී යනතෙක් (2009) මගේ හද තුළ වූ අධිෂ්ඨානයේ ප්‍රමුඛතම අංගය විය.

 

1985 වසරේදී සිදු වූ තවත් සිදුවීමක් නිසා මා ශිෂ්‍ය දේශපාලනයේ ඉහළටම තල්ලූ විය. අපගේ විශ්ව විද්‍යාලයේ සිවිල් ඉංජිනේරු අංශයේ ගොඩනැගිල්ල විවෘත කිරීමට එවකට මුදල් ඇමැති රොනී ද මැල් මහතා පැමිණීමට නියමිත වූ අතර, ජ්‍යෙෂ්ඨයින්ගේ කීම මත අපි එයට එරෙහිව සත්‍යග්‍රහයක් දියත් කළෙමු.

 

රොනීද මැල් මහතා උත්සවයට නොපැමිණි අතර, ආතර් සී ක්ලාර්ක් මහතා අතින් ගොඩනැගිල්ල විවෘත විණි. ප්‍රතිඵලය වූයේ ශිෂ්‍ය නායකයන්ගේ පන්ති තහනම් වීමයි. මෙය කෙතරම් උග්‍රවීද කියතොත් සියලූ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය නායකයින්ගේම පන්ති තහනම් වී රැස්වීමක කතාවක් පැවැත්වීමටවත් අයෙක් නැති තරමට තත්ත්වය උග්‍රවිය. පස්දෙනාට වඩා එක්රැස්වීම, කතා පැවැත්වීම, පත්‍රිකා ඛෙදීම, ආධාර එකතුකිරීම ආදී සියලූ ක්‍රියා තහනම් විය. ඇත්තටම අද මෙන් නොව එදා විශ්ව විද්‍යාල සිරගෙවල්වලට සමාන විය. නායකයින් එළියට දැමීම නිසා පළමුවරට මා කතාවක් පැවැත්වීමි. මා පාසලේදී හෝ වෙනත් ස්ථානයක ප්‍රසිද්ධ කතා පවත්වා නැති අතර, ශිෂ්‍ය නායක ධුර, විවාද කණ්ඩායම් යනාදිය කිසිදා නියෝජනය කර ද නැත. සෑමවිටම මා සිටියේ තිරයෙන් පිටුපසය. එළියේ සිටිනා අය හරියට වැඩේ නොකරන බව අවබෝධ වූ විට කරළියට ඒම මගේ ප්‍රතිපත්තිය විය. විශ්ව විද්‍යාලයේ සිසුන් සහමුලින් මර්දනය කළවිට අන්තිමේ දී නැඟී සිටින්නට මා තීරණය කළේ ඒ නිසාය. මගේ ද පන්ති තහනම් විය. නමුත් කථීකයෙකු, සංවිධායෙකු හා නායකයෙකු ලෙස එතැන් පටන් අපේ විශ්ව විද්‍යාලයේ පමණක් නොව සියලූම විශ්ව විද්‍යාලවල පාහේ පිළිගැනීමක් මා හට ලැබිණි. මෙවැනිම සිදුවීමක් 1996 දී ද විය. තිරයෙන් පිටුපස සිටි මා හට එළියට එන්නට සිදුවූයේ දෙමළ ජාතිවාදී මත දරනා අය සමග වාද කිරීමට සිංහල ජාතිකවාදී මත දැරූවන් පැකිලී ගිය අවස්ථාවේදීය. බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ එකී ප්‍රසිද්ධ විවාදය පැවැත්වුණු අතර, මහාචාර්ය තිස්ස විතාරණ (මහාචාර්ය ජී.ඇල්. පීරිස්ටත් ආරාධනා කළමුත් ඔහු සහභාගී වූයේ නැත) එස්.එල්.ගුණසේකර හා මම එයට සහභාගී වූයෙමු. ලංකාවේ සිංහල ජාතික වේදිකාවේ කථීකයෙකු, සංවිධායකයෙකු හා නායකයෙකු ලෙස මා කරළියට ආවේ ද එලෙසය. එය ද අහම්බයක් ලෙසය.

 

1986 වසරේ දී ඒකාබද්ධ ශිෂ්‍ය සටන් පැවතුණේ නැත. ඒ වෙනුවට දෙමළ ඛෙදුම්වාදය සම්බන්ධයෙන් තීරක විවාදයක් විශ්ව විද්‍යාලවල හටගත්තේය. ප්‍රධාන වශයෙන් එය මාක්ස්වාදය හා ජාතිකවාදය අතර, ඇතිවූ සංවාදයක් විය. මේ වනවිට මහාචාර්ය නලින්ද සිල්වා, ආචාර්ය සූරිය ගුණසේකර, වෛද්‍ය ගුණදාස අමරසේකර ආදීන් ජාතික චින්තන ප්‍රවාදය ඉදිරිපත් කර පෙරට ගෙනයමින් තිබූ යුගයයි. විශේෂයෙන්ම නලින් ද සිල්වා මහතා විශ්ව විද්‍යාල ගුරුවරයෙකු වූ බැවින්, ඝෘජුවම ශිෂ්‍ය දේශපාලනය සමග සම්බන්ධ විය. දෙහිතක් නැතිව මාත්, ඔවුන් සමග ජාතිකවාදයට එක්වුනෙමි. එහෙත් මගේ වැඩි අවධානය යොමුවුණේ තාර්කික සංවාදවලට වඩා සංවිධානාත්මක ජාතිමාමක ශිෂ්‍ය බලවේගයක් ගොඩනඟා ගැනීම ගැනය. මේ වනවිට ජවිපෙ සිටියේ ඉතා දුර්වල මට්ටමකය. ඔවුනට මතවාදී ලෙසින්, මාක්ස්වාදීනට පිළිතුරු දිය නොහැකි වූයේ මාක්ස් මෙන්ම ලෙනින් ද ජාතීන්ගේ ස්වයං නිර්ණය හෙවත් ඛෙදී වෙන්වී යෑමේ අයිතිය පිළිගත් නිසාය. මේ නිසා රැකවරණය පතා ඔවුන් අප පිටුපසට විය.

 

ඒ දිනවල මම මාක්ස්වාදය හා ධනවාදය යන දෙකම බටහිර දේශපාලන දර්ශන දෙකක් බවත් අපට ගැලපෙන්නේ බුදු දහමට අනුකූල සාංඝික සමූහවාදය බවත්, පෙන්නා දෙන දීර්ඝ ලිපියක් ජවිපෙ නායකයින්ට ලීවෙමි. එය මගේ ජවිපෙන් නිල වශයෙන්ම ඉල්ලා අස්වීමේ ලිපිය ද විය. (1985) නමුත් විශේෂයෙන් මොරටු විශ්ව විද්‍යාලයේ බලයක් එවකට ජ.වි.පෙට නොවූ නිසාත්, පොදුවේ ඔවුන් ජාතිකවාදය ජේ.ආර්ට එරෙහිව යොදාගැනීමට ඉටාගෙන සිටි නිසාත් ඔවුහු තවදුරටත් අප සමගම එකට සිටියෝය. ජ.වි.පෙ අප ඇසුරු කළ නායකයින් වූ ඩී.එම්.ආනන්ද, රංජිදම් ගුණරත්නම්, ආනන්ද ඉඩමේගම ආදීන් විවිධ කුසලතා සහිත සියලූ නායකත්ව ගුණ සහිත පුද්ගලයින් වූ බව ද කිව යුතුය. ඔවුන් නිවැරදි ප්‍රායෝගික ජාතිකවාදීන් වූවානම් මේ රටට බොහෝ සේවයක් වන්නට ඉඩ තිබිණි. විශේෂයෙන් ආනන්ද ඉඩමේගම හෙවත් ධම්මික, දිවි ඇතිතෙක් අමතක කළ නොහැකි සුහද මිතුරෙකු විය.

 

ජවිපෙ මුහුණ දී තිබූ න්‍යායික ආරවුල විසඳීමට විජේවීර මහතා 1986 මුල දී මධ්‍යම කාරක සභාව අමතන ලිපියක් ලෙස කෘතියක් එළි දැක්වූයේය. (ඊළාම් අරගලයට විසඳුම කුමක්ද? - 1986 මාර්තු - පළමු පිටපත් පොලීසිය විසින් අත් අඩංගුවට ගත් බව වාර්තා විය). එමගින් දෙමළ ජනයා ජාතිකත්වයක් බවත් සිංහලයින් ද ජාතියක් නොව ජාතිකත්වයක් බවත්, ජාතිය නම් ශ්‍රී ලාංකික ජාතිය බවත්, ප්‍රකාශ කරනා ලදි. එහෙයින් මාක්ස් - ලෙනින්ගේ ජාතීන්ගේ ස්වයං නිර්ණය පිළිබඳ අයිතිය දෙමළ ජනයාට යෙදිය නොහැකි බව ප්‍රකාශ කරනා ලදි. දෙමළ ඛෙදුම්වාදය යොදාගෙන ඉන්දියාව බෙදීමට එක්සත් ජනපදය ක්‍රියාකරනා නිසා ඉන්දියාවේ හා ශ්‍රී ලංකාවේ සමාජවාදීන් එක්විය යුතු බව යෝජනා විය. සමාජවාදය යටතේ ජාතික පීඩනය ඉවත් වී සුළු ජාතීන්ට ස්වයං පාලනය (Self Rule) ලැබුණු විට ප්‍රශ්නය විසෙඳන බව ද ප්‍රකාශ විය. මුල් කෘතිය දැඩි ඉන්දියානු ගැති එකක් විය. පසුව වාර්තා වූයේ ජ.වි.පෙ ඉන්දියාව සමග සබඳතා ඇතිකර ගන්නට උත්සාහ කළ ද ඔවුන් ඒ වනවිටත්, ජවිපෙ විරෝධී කොටස් සමග සබඳතා ඇතිකරගෙන තිබූ බවය. ඉන්දියාව විසින්, ප්‍රතික්ෂේප කරන ලද ජවිපෙ ඊළඟට දැඩි ඉන්දියානු විරෝධී විය. ඒ සඳහා ඉහත කී කෘතියේ සංස්කරණයක්ද නිර්මාණය විය. ඒ අතරේ ජවිපෙ තෝරාගත් පිරිස්වලට සන්නද්ධ පුහුණුව දෙන්නට ද විය. ජවිපෙට බාධාවක් ලෙස සැලකූවන් ඉවත් කිරීම ද ආරම්භ කරනා ලදි. දැඩි ඊළාම්වාදියෙකු වූ දයාපතිරණ කොළඹ විශ්ව විද්‍යාලයේ ජාතිකවාදීන්ට දේශපාලනය කිරීමට ඉඩ නොදුන්නේය. ඔහු ජ.වි.පෙට නම් කොහාමවත් ඉඩ දුන්නේ නැත. 1986 දෙසැම්බරයේ ඔහු ඝාතනය විය. මා අපේ සියලූ හිතවතුනට කීවේ මෙතෙක් කල් සහෝදරත්වයෙන් යුතුව කුමන මතවාද යටතේ වුව එකට සටන්කළ සියලූ දෙනා දැන් වෙන්ව ඔවුනොවුන් ගහ මරාගැනීමට නියමිත බවය. එය ඒ ලෙසම විය. කෙසේ වෙතත්, ප්‍රතිවිරුද්ධ මත සහිතව වූවත් මොරටු විශ්ව විද්‍යාලයේ අපි ගැටුමට මැදි නොවී අනන්‍යතාවය රැක ගත්තෙමු.

 

තමනට බහුතර බලය නොලැබේ යැයි සිතූ ජේ.ආර්. 1977 මැතිවරණ ප්‍රකාශනයට සර්ව පාක්ෂික වට මේස සාකච්ඡාවක් පිළිබඳ යෝජනාවක් දැම්මේ දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ සමග අවබෝධයකිනි. නමුත්, හයෙන් පහක බලයක් ලැබූ ජේ.ආර්. සුපුරුදු ලෙස එය අමතක කළේය. නමුත් 1977 සිට ක්‍රමයෙන් දෙමළ ජාතිවාදී ඛෙදුම්වාදී ත්‍රස්තවාදය නැගී එද්දී ජේ.ආර්. හැරුණේ දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ වෙතටය. 1981 පිහිටු වූ සංවර්ධන සභා එකී දේශපාලන විසඳුම විය. එය පිටුපස එක්සත් ජනපදයත් ඔවුනගේ සුවච ගෝලයන් වූ ලලිත් ඇතුළත්මුදලි හා නීලන් තිරුචෙල්ලමුත් සිටියහ. එදා දිස්ත්‍රික් සංවර්ධන සභා විසඳුම ලෙස පිළිගත් දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ චෙල්වනායගම්ගේ “දැන් ටිකක් පසුව තවත් ටිකක්” යන න්‍යාය යටතේ 1986 වසරේදී පළාත් සභා ක්‍රමය ඉල්ලුහ. ඉන්දීය බලපෑම මේ වනවිට ඝෘජුව තිබූ අතර, දෙමළ ඛෙදුම්වාදීන් විවෘතව ඉන්දීය බිමේ පුහුණු කරනා ලදී. එක්සත් ජනපද ඔත්තු සේවා විසින් සපයන ලද පුහුණු කඳවුරුවල ඡායාරූප ඇතුළත්මුදලි විසින් ඉන්දීය නියෝජිතයිනට ලබාදුන් බවට ද වාර්තා පළවිය. දෙමළ ප්‍රශ්නය දඩමීමා කරගෙන ඉන්දියාව, ශ්‍රී ලංකාව සිරකරමින් සිටියේය. එය 1971 දී, නැගෙනහිර පකිස්තානයේ “මුක්තාභානී” ව්‍යාපාරයට උපකාර කර “බංගලිදේශය” බිහිකළ මෙහෙයුමට බොහෝ සමාන දෙයක් විය. දින දහයක් ඇතුළත ජෙනරාල් මනෙක්ෂෝ යටතේ වූ ඉන්දීය හමුදා ඉන්දිරා ගාන්ධි හා ඉන්දීය බුද්ධි අංශයේ කේ.එන්. කාවෝ ගේ මෙහෙයවීම යටතේ නැගෙනහිර පකිස්තානය යටත් කිරීම පිළිබඳ කතාව (1971 දෙසැම්බර් 06) මා සිත නිතර බියපත්කළ කතාවකි. චීනයේ ප්‍රහාරයන් විසින් ආත්ම විශ්වාසය බිඳගෙන සිටි ඉන්දියාව (ජවහර්ලාල් නේරු මියගියේ චීනය හමුවේ ඇති වූ පරාජයේ වේදනාවෙන් බව ඉන්දිරා ගාන්ධිගේ චරිත කතාව ලියූ පාපුල් ජයකාර් ප්‍රකාශ කර තිබිණි) පාකිස්තානය පරදවා එකී විශ්වාසය දිනා ගත්තේය. ඉන්දිරා පක්ෂ විපක්ෂ සියල්ලන්ගේ “දුර්ගා” දෙවඟන බවට පත්විය. 1984 දී සීක්වරු විසින්, ඒ ඉන්දිරාව ඝාතනය කළ අතර, නැවත ඉන්දියාවට ආත්ම විශ්වාසය අවශ්‍යව තිබිණි. ජේ.ආර්.ගේ මුග්ද රාජ්‍යතාන්ත්‍රික බටහිර ගැතිබව සේවය කළේ ඉන්දියාවේ බිඳුණු ආත්මගරුත්වයටය. රජිව් ගාන්ධි හා ඩික්සිත් වේගයෙන් ශ්‍රී ලංකාවට එරෙහිව ක්‍රියාකරමින් සිටියහ.

 

පර්තසාරතී හා (සී) ඇමණුම (Annexure C) මගින් පළාත් සභා ක්‍රමයක් හඳුන්වාදෙන ලදි. ප්‍රතිඵලය ක්ෂණික විය. මව්බිම සුරැකීමේ ව්‍යාපාරය බිහිවිය. එයට ශ්‍රීලනිපයේ හා තහනම් කරනා ලද ජ.වි.පයේ පමණක් නොව සිරිල් මැතිව් වැනි යූඑන්පී නායකයින්ගේ ද, එවකට අස්ගිරි මහානායක ධුරයන් ද පලිපාන චන්දානන්ද මහ නාහිමි වැනි මධ්‍යස්ථ භික්ෂූන් වහන්සේලාගේ ද සහාය පළවිය. දෙහිතක් නොසිතා මම එයට එක්වුනෙමි. සාර්ථක රැලි කීපයක් මහනුවර, නුගේගොඩ ආදී ප්‍රදේශවල පැවැත්විණි. මහත් උද්‍යෝගයෙන් පෝස්ටර් ඇළවීම, කොඩිවැල් දැමීම ආදියේ සිට එකී රැලිවලට මගේ සහාය පළවිය. ක්‍රමයෙන් නැඟී එන ජාතික රැල්ල කල්තියා දුටු ජේ.ආර්. නුගේගොඩ ප්‍රසිද්ධ රැලියක් තබා පළාත් සභා අකුලා ගත්තේය. ඊළඟට ඔහු ඉතා සූක්ෂම ලෙස ශ්‍රී.ල.නි.පය හා ජ.වි.පෙ අතරත්, භික්ෂු සංඝයා අතරත්, බුද්ධිමතුන් අතරත් භේද ඇති කළේය. මව්බිම සුරැකීමේ ව්‍යාපාරය දෙකඩ විය. සිරිමාවෝ මැතිණිය, ඛෙංගමුවේ නාලක හිමි, ගාමිණි ඊරියගොල්ල වැනි අය මව්බිම සුරැකීමේ සංවිධානය ලෙසත්, ප්‍රින්ස් ගුණසේකර, දිනේෂ් ගුණවර්ධන, මාදුළුවාවේ සෝභිත හිමි වැනි අය මව්බිම සුරැකීමේ ව්‍යාපාරය ලෙසත්, සංවිධානය වූහ. මම දෙවැනි සංවිධානයට එක්වීමි. ජවිපෙ සහාය ලැබුණේ ද එයටය. කෙසේ වෙතත්, සිංහල ජාතික ව්‍යාපාරයේ භික්ෂු නායකත්වය, දේශපාලන නායකත්වය, බුද්ධිමතුන් ආදීන්ගේ පටු හැඟීම් විශේෂයෙන් පුද්ගල කැපී පෙනීමේ ආශාව ජාතික ව්‍යාපාරයේ ඉදිරිගමනේ ලොකුම බාධාව ලෙස අවබෝධ කරගතිමි. ජේ.ආර්. උත්සාහ කළේ ශ්‍රීලනිප ඉවත්කර ජ.වි.පෙ හුදකලා කිරීම වුවත් සිදුවූයේ ජ.වි.පෙට ජාතික ව්‍යාපාරයේ නායකත්වය ඉබේම ලැබීමය. කම්මැලි ප්‍රභූවාදී ශ්‍රී.ල.නි.ප නායකයින් ඉවත්ව යාමේදී කොන්කර සිටි කෙසේ හෝ කරලියට ඒමට වලිකමින් සිටි ජ.වි.පෙ බඩගිනි වෘකයෙක් මෙන් ජාතික ව්‍යාපාරය ඩැහැගත්තේය. ත්‍රස්ත ක්‍රියා උත්සන්න වෙමින් ඉන්දියාව සිය දකුණු කලාපයේ “දෙමළ බංගලි දේශය” බිහිකරමින් සිටිනා විට ජ.වි.පෙ සිය සන්නද්ධ ක්‍රියාදාමය පියවරයකින් පෙරට ගත්තේය. ඒ පල්ලේකැලේ හමුදා කඳවුරින් අවි පැහැර ගැනීමෙනි. (1987) 1987 අප්‍රියෙල් අවුරුදු නිවාඩුවට මම ගෙදර නොගියෙමි. එයට හේතුව අපව අත්අඩංගුවට ගැනීමට රජය වෑයම් කරනා බවට වූ රාවයයි. අප්‍රියෙල් 18 කිතුල්උතුවේද අප්‍රියෙල් 21 පිටකොටුවේදී ද සමූල ඝාතන සිදුවිය. එය ජේ.ආර්.ට ඉන්දියාව ලබාදුන් ලේ පිරුණු සංඥාවක් විය. මැයි දිනය තහනම් විය. නමුත් අපේ ධෛර්යය එයින් බිඳීමට නොහැකි විය. නාරාහේන්පිට අභයාරාමයේදී අපි මැයි දිනය සැමරුවෙමු. මැයි දිනයට පෙරදා රාත්‍රියේ අපුරු දෙයක් විය. එදින පේරාදෙණියේ සිට පැමිණි අතුරලියේ රතන හිමියන් හා අපේ විශ්ව විද්‍යාලයේ නිමල් බාලසුරිය අතර බුදුදහම හා මාක්ස්වාදය පිළිබඳ සංවාදයක් ඇති විය. රතන හිමි බොහෝ පහසුවෙන් බාලසූරියව පරාජය කළේය. බාලේ හැඟීම්බර ක්‍රියාකාරීකයෙකු මිස බුද්ධිමය විතර්කයෙකු නොවීය. ඔහු කලක් ජ.වි.පෙට එරෙහි නව ජනතා ව්‍යාපාරය සමග එක්වී පසුව එය අතහැර ජ.වි.පෙ සමග එක්වූ අයෙකි. රතන හිමියන්ගේ තර්ක ශෛලිය මා සිත්ගත්තේය. දශක ගණනක් දිවයන දේශපාලන මිතුදමක් ඇතිවූයේ ඒ නිදි නැති රාත්‍රියේ ඇතිවූ තර්ක විතර්ක නිසාය. රතන හිමියන්ද මා මෙන්ම කම්කරු පන්තියට වඩා භික්ෂුන් වහන්සේට ජාතික ඝාමාජීය විප්ලවයක් කළ හැකි බව විශ්වාය කළ ඒ අනුව ක්‍රියාකළ ශිෂ්‍ය ක්‍රියාකාරීකයෙකු විය.

 

මැයි දිනය ලේ විලක් විය. අභයාරාමයේදී ජීවිත දෙකක් බිලිගන්නා ලදී. ජේ.ආර්. ගේ අදහස වන්නට ඇත්තේ තමන් සිංහල ජාතික බලවේග මර්දනයට සූදානම් බව ඉන්දියාවට පෙන්වීම විය හැක.නමුත් ප්‍රායෝගිකව සිදුවූයේ ජේ.ආර්.පැරදවීමට අවි ආයුධ අවශ්‍ය බවට වූ ජ.වි.පෙ මතය දෙසට ප්‍රකෝප වූ සිසුන් ඇදී යෑමය. බොහෝ කලක සිට රංජිදම් වැනි ජ.වි.පෙ ශිෂ්‍ය නායකයින් ප්‍රසිද්ධියේ කීවේ අත් වන වනා පොලිස් වෙඩි පහරට ලක්වීම සඳහා පෙළපාලිි ගිය යුගය නුදුරේදීම නතරවන බවය. අවිහිංසාවාදය ඇදහූ අපේ මග ජේ.ආර්.ගේ තුවක්කු මර්දනයෙන් යටපත් විය. තුවක්කුවෙන්ම ප්‍රතිචාර දැක්වීමේ ජ.වි.පෙ මගට නව ජවයක් එයින් සැපයිනි. ජේ.ආර්. නතර කළ හැක්කේ තුවක්කුවෙන් පමණකි යන්න ජේ.ආර්. විසින්ම පෙන්නා දෙන ලදී. ජේ.ආර්. පළමුව ශ්‍රීලනිපය බිඳ දමා ජවිපෙට ජාතික ව්‍යාපාරයේ නායකත්වය දුන්නේය. ඊළඟට අවිහිංසාවාදී ශිෂ්‍ය ව්‍යාපාරය සන්නද්ධව මර්දනය කර ජවිපෙ සන්නද්ධ අංශයට විපක්ෂය වීමට ඉඩ ලබාදුන්නේය.

 

1987 ජුනිමස රටපුරා ශිෂ්‍ය නායකයින් අත්අඩංගුවට ගැනිණි. විශ්ව විද්‍යාලය වසා තිබුණු අතර මා සිටියේ නිවසට නොගොසින් මොරටුවේ බෝඩිමකය. බොහෝ දෙනෙක් අත්අඩංගුවට පත්විය. ජේ.ආර්. මේ වන විට ඉන්දියාව සමග එකගතාවයක් සඳහා ක්‍රියාකරමින් සිටි අතර එයට ප්‍රතිපක්ෂව නැඟී සිටිය හැකිවූවන් කූඩු කිරීමේ උත්සහායක නියැලී සිටියේය. අත්අඩංගුවට පත්වූවන් බේරාගැනීමේ සටන ගැන සිතමින් සිටිනා අතරේ ඉන්දු-ලංකා ගිවිසුමක් එන බව පුවත්පත් වාර්තා කළේය. අපි වහාම සංවිධානය වූයෙමු.

 

පළමු රැස්වීම විද්‍යාලංකාර පිරිවෙනේ (කැලණියේ) පැවැත්වු නමුත් එය උපවාසයක් කරා ගෙනයෑමේ උත්සාහය සාර්ථක නොවීය. පසුදින විද්‍යොදයට (මාලිගාකන්ද) එක්රැස් වී පිටකොටුවේ උපවාසයක් ඇරුඹීම ඊළඟ ඉලක්කය විය. ශ්‍රි.ල.නි.ප නායකයින්ද විහාරමහාදේවී උද්‍යානය අසල උපවාසයක් කිරීමට යන බව වාර්තා විය. එක්වූ මහ සඟරුවන සමග සිංහ ධජය ගෙන කොටුව බලා ඉදිරියෙන්ම ගියේ මාය. කොළඹ නීති පීඨයේ කරුණාරත්නද මා සමග විය. පැය කීපයක් ඇතුළත ශ්‍රි.ල.නි.ප නායකයින්ද එයට එක්වූ අතර මාර්ග අවහිර වී එය දැවැන්ත උපවාසයක් බවට පත්විය.

 

(1989 ජූලි 28) වසර දහතුනකට පසු 2000 අගෝස්තු 14 දා ද ෆෙඩරල් යෝජනාවලියට එරෙහිව පිටකොටුවේ දී ඒ ලෙසටම උපවාසයක් හා විරෝධතාවයක් පැවැත්වීමට අපට සිදුවිය. පළමු සටනේ අත්දැකීම දෙවැනි සටනේ ජයග්‍රහණය සඳහා බොහෝ උපකාරී විය.

 

ජේ.ආර්.උපවාසය මර්දනය කළේය. වෙඩි ප්‍රහාර මැද අපි විද්‍යොදය දෙසට පළාගියෙමු. ආරක්ෂක අංශය අප එහි කොටු කරන ලදී. රාත්‍රියේදී අඳුරට මුවාවී අපි කීපදෙනක් එයින් පැනගොස් කොළඹ වෛද්‍ය පීඨයට ආවෙමු. අපට පෙනී ගියේ පොලීසිය කුමන අයුරින් හැසුරුනද හමුදාව විරෝධතාකරුවනට අනතුරක් නොකරන බවය. මගේ තක්සේරුව නම් ජ.වි.පෙට නිසි යුද සංවිධානයක් තිබිණි නම් හමුදාවල සහායයෙන් ෙජ්.ආර්.බලයෙන් පහකිරීමට වුව හැකියාවක් තිබුණු බවය. නමුත් එය එසේ වූවානම් අනිවාර්යෙන්ම ඉන්දීය හමුදා සමග ලක්ෂ ගණනක් මියයන යුද්ධයක් ඇවිලී යෑමද වැලැක්විය නොහැකි වනු ඇත.

 

විරෝධතාකරුවන් 147 දෙනෙක් මියගොස් සිටියහ.වෛද්‍ය පීඨ මෘත ශරිරාගාරයේ ඔවුන් සමග ගතකළ දින දෙකක කාලය මගේ ජීවිතය සහමුලින් වෙනස් කළේය. අපේ විශ්ව විද්‍යාලයේ හිතාදර සිසුන් දෙදෙනෙකු වූ ක්ලිෆඩ් පෙරේරා හා නිමල් ලියනගේද මියගියවුන් අතර විය. වතුර පමණක් බොමින් ඇඳිරි නීතිය යටතේ දිනතුනක් මළ සිරුරු සමග ගතකළෙමි. වසර 20කට පසු ක්ලිෆඩ් හා නිමල් නමින් භාරකාර අරමුලක් ගොඩනගන්නට එදා දිවි ඉතුරු කරගත් සොයුරන් සමග එක්වීමේ භාග්‍යයද මට හිමිවිය. මරණය පිළිබඳ බියක් පිළිකුලක් විනිනම් ඒ සියල්ල ඒ ලේ වැකුණු දින කීපය නිසා මැකී ගියේය.

 

ජ.වි.පෙ සිය ප්‍රචණ්ඩ උද්ඝෝෂණ රැල්ල ඉන්දු - ලංකා ගිවිසුමත් සමග ආරම්භ කළේය. විශ්ව විද්‍යාල දිගටම වසා තැබිණි. පළාත් සභා ක්‍රමය ඇතිකිරීම ස`දහා වූ අනපනත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් වනවිට විශ්ව විද්‍යාල විවෘතව තිබීම අපට මහගු අවස්ථාවක් උදාකළේය. අපි එයට එරෙහිව උපවාසයක් ආරම්භ කළෙමු. මොරටුවේ අපේ අවිහිංසාවාදී සම්ප්‍රදාය ජ.වි.පෙට ඉවසුම් දුන්නේ නැත. සන්නද්ධ ක්‍රියාදාමයට එයින් බාධාවක් ඇතිවන බව ඔවුනගේ හැඟීම විය. ඔවුන් සහාය දුන්නේ නැත. ආරක්ෂක හමුදා විසින් වටකරනු ලදුව උපවාසය විසිරී ගියේය. පළාත් සභා මැතිවරණ ආරම්භ විය. ජ.වි.පෙ එකී ඡන්දය වර්ජනය කිරීම සඳහා සන්නද්ධ බලය යොදා ගන්නා ලදී. පළමු පියවරේදීම මම එය විවේචනය කළෙමි. ජනතාවගේ ඡන්ද බලය බියපත් කර නතර කිරීම දරුණු ප්‍රතිවිපාක දෙන සිදුවීමත් බව මගේ හැඟීම විය. නමුත් ජේ.ආර්. කළේ අතට හසුවන සියල්ලන් මර්දනය කරමින් ජ.වි.පෙ සන්නද්ධ ගමන්මග සාධාරනීකරණය කිරීමය.

 

1988 පෙබරවාරී මස සිදු වූ වැදගත් සිදුවීමක් වූයේ වාමාංශික පක්ෂ එක්සත් සමාජවාදී පෙරමුණ නමින් සන්ධානයක් පිහිටුවීමට අර අදිනා අතරේ ශ්‍රී ලංකා මහජන පක්ෂයේ නායක විජය කුමාරතුංග මහතා ඝාතනය කිරීමය. ඝාතනයේ ප්‍රවෘත්තිය අසනා විට මා සිටියේ විශ්ව විද්‍යාල කැන්ටිමේ ආහාර ගැනීමට සූදානම් වෙමිනි. විජයට වෙඩි තැබුවා යැයි ප්‍රවෘත්තිය ඇසූ විට කැන්ටිමේ මත දෙකක් ඇතිවිය. විජයට සිනමා ශිල්පියෙකු ලෙස හෝ දේශපාලකයෙකු ලෙස ආදරය කළ අය කෑම ගැනීම නවත්වා ඝාතකයින්ට දොස් කියන්නට වූහ. ජ.වි.පෙ ආධාරකරුවන්ට වූ කුතුහලය නම් විජය ඇත්තටම මියගියාද යන්නය. දයා පතිරණ සිද්ධිය මෙන්ම මෙයත් විශ්ව විද්‍යාලයේ ගැටුමක් ඇතිවිය හැකි සිදුවීමක් ලෙස තේරුම් ගත් මම මේ පිළිබඳ සත්‍යය විමසීම සඳහා ආනන්ද ඉඩමේගම හමුවීමට කොළඹ වෛද්‍ය ශිෂ්‍ය නේවාසිකාගාරයට ගියෙමි. ඒ වනවිටත් විජයගේ දේහය එහි වූ මෘතශරීරාගාරයට ගෙනවිත් තිබූ නිසා සැලකියයුතු පිරිසක් එහි පැමිණ සිටියහ. ආනන්ද හෙවත් ධම්මික සිනාමුසු මුහුණින් මට කීවේ “විජය ද්‍රෝහියෙක්” කියාය. ප්‍රතිවිප්ලවය නතර කිරීම සඳහා මෙවැනි ද්‍රෝහීන් දැන්මම ඉවත් කළ යුතු බව එතැන සිටි මහානාම කීවේය. ඔහු එකල ජ.වි.පෙට සිටි ලොකුම න්‍යායාචාර්යවරයා වූ අතර, මාක්ස්වාදය හා ජාතිකවාදය ගැන අප සමග දිගටම ගැටුම් ඇතිකරගත් අයෙක් ද විය. උපවැදි, ශූර කථීකත්වයක් සහිත අයෙක් වූ ඔහු අපට පහරදුන්නේ බුද්ධිවාදීන් ලෙස හංවඩු ගැසීමෙනි. විප්ලවයට පෙර ප්‍රතිවිප්ලවය මර්දනය කිරීමට කටයුතු කරන්නේ නම් තමන් ප්‍රතිවිප්ලවවාදීන් ලෙස හඳුනාගන්නා බොහෝ දෙනා ද දැන්මම ප්‍රතිවිප්ලවය සමඟ එක්වීමට ඉඩ ඇති බව මහානාමට පිළිතුරු දී ආපසු පැමිණියෙමි.

 

විජය කුමාරතුංග මිය යනවිට, ඔහු ජේ.ආර්.ට සිටි ලොකුම තුරුම්පුව විය. ඊළඟ ජනාධිපතිවරණයක දී සිරිමාවෝ බණ්ඩාරනායක පරාජය කිරීම සඳහා අවශ්‍ය ඡන්ද කැඩීමට විජය ඔහුට අත්‍යවශ්‍ය විය. මගේ මතය නම් තුන්වැනි වරටත් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට ජේ.ආර්. ඉදිරියට නොපැමිණියේ විජය ඝාතනය නිසා බවය. විජය ප්‍රේමදාස සමග ද දෙමළ සන්නද්ධ කල්ලි සමඟ ද කිට්ටු සම්බන්ධයක් ගෙන ගියේය. ඔහු මහජන පක්ෂයට එක්ව සිටි හිටපු ජවිපෙ පිරිස් සඳහා සන්නද්ධ පුහුණුවක් ද ලබාදුන් බව එකී පුහුණුවට සම්බන්ධ වූ කුරුණෑගල දොරවේරුවේ තරුණයෙක් මා හට පැවසුවේය. විජය මියයෑමෙන් පසු ජේ.ආර් තවදුරටත් තබාගැනීම සඳහා ලලිත් තුරුම්පුවක් ගැසුවේය. ඒ විජේවීර කරළියට ගැනීම සඳහා ජ.වි.පෙ තහනම 1988 මාර්තු මස ඉවත් කිරීමෙනි. ඉන්දීය විරෝධී පෙරමුණක් පිළිබඳ වූ සාකච්ඡාවලදී ජ.වි.පෙ ලලිත් ඇතුළත්මුදලි මෙන්ම රවී ජයවර්ධන සමග ද සාකච්ඡා කරගෙන ගියේය. ආණ්ඩුව හා ජ.වි.පෙ අතර, ඇති වූ ගිවිසුම පිටුපස සිටි රොහාන් පෙරේරා නොහොත් පස්ලිනිසාර් ඇතුළත්මුදලිගේ ගෝලයෙකු වූ අතර, තිස්ස බාලසූරිය පියතුමා හා කේ.සී. සේනානායක ඒ සඳහා දෙපිරිසම විසින්, අන්දවනු ලැබූවන් විය. ජ.වි.පෙ සාම සාකච්ඡා ප්‍රතික්ෂේප කළේය. ප්‍රචණ්ඩ ක්‍රියා උත්සන්න විය.

 

මේ වනවිට විශ්ව විද්‍යාලවල මූලික සටන් පාඨ දෙකක් විය. එකක් නම් අත්අඩංගුවට පත්වු ශිෂ්‍ය නායකයින් මුදාහරිනු යන්නයි. රංජිදම් වැනි ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම සභිකයින්ගේ සිට ජ.වි.පෙට හිතකර මතවාදවල නොසිටි අතුරලියේ රනන හිමි, අශෝක අබේගුණවර්ධන, ගෙවිඳු කුමාරතුංග වැනි අයද අත්අඩංගුවේ සිටියහ. මගේ ඉලක්කය වූයේ කෙසේ හෝ ශිෂ්‍ය ප්‍රශ්න විසඳාගෙන අධ්‍යාපනය යථා තත්ත්වයට පත්කර ජනාධිපතිවරණයේදී ජේ.ආර්. පරාජය කර ඉන්දීය හමුදා පිටත්කර පළාත්සභා අහෝසි කිරීමේ මගක් තැනීමය.

 

අත්අඩංගුවට පත් සිසුන් නිදහස් කිරීමත්, පුද්ගලික වෛද්‍ය විද්‍යාලය පිළිබඳ ප්‍රශ්නයත් සාකච්ජා ක්‍රියාදාමයකින් විසඳාගත හැකි බව අපේ උපකුලපති විලි මැන්ඩිස් මහතා මා හට ප්‍රකාශ කර සිටියේය. මම මේ ගැන අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය මණ්ඩලයට දැනුම් දුනිමි. 1987 සිට විශ්වවිද්‍යාල වසා දැමීම නිසා සිසුන්ද, දෙමාපියන්ද සිටියේ මහත් අසහනයකිිනි. නමුත් ජ.වි.පෙ උපාය මාර්ගය වූයේ හැකිතරම් කාලයක් විශ්ව විද්‍යාල වසාගෙන සිය කැරැල්ල සඳහා විශ්ව විද්‍යාල සිසුන් යොදා ගැනීමය. ජවිපෙ මෙම උපාය අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය මණ්ඩලය තුළ ඛෙදිමක් ඇති කළේය. කොළඹ විශ්ව විද්‍යාලයේ ගෙවිඳු  කුමාරතුංග, පේරාදෙණියේ රතන හිමි, ජයවර්ධනපුර බර්ටි විදානපතිරණ ආදී සෙසු ජාතිකවාදී මධ්‍යස්ථ නායකයින්ද සිටියේ ඒ මතයේය. ඇත්තෙන්ම බහුතර ශිෂ්‍යන්ගේ ගරුත්වය තිබුණේ මේ ජනප්‍රිය නායකයින් සමගය. අන්තිමේදී ආණ්ඩුව සමග සාකච්ජා කළ යුතුය යන මතය ජයගනු ලැබීය. ආණ්ඩුව පැත්තෙන් ඒ.සී.එස්. හමීඩ් මහතා සමග ප්‍රතිපාදන කොමිෂම් සභාවේ සභාපති ස්ටැන්ලි කල්පගේ පැමිණි අතර ශිෂ්‍යයින්ගේ පැත්තෙන් සාකච්ජාව මෙහෙය වූයේ මා ය. සාකච්ජා වට කීපයකින් පසු අපේ ඉල්ලීම් ලබාදීමට ආණ්ඩුව එකඟවිය. මහාචාර්ය විලි මැන්දිස් හා මහාචාර්ය අර්ජුන අලූවිහාරේ එකී සාකච්ජා සාර්ථක කර ගැනීම සඳහා බොහෝ කැපවීම් කළහ. නියෝජ්‍ය පොලිස්පති එඩ්වඩ් ගුණවර්ධනද එයට සහාය විය. අත්අඩංගුව පත් වී සිටි සිසුන් නිදහස් විය. පුද්ගලික වෛද්‍ය විද්‍යාලය ජනසතු විය. (ඇත්තම තත්ත්වය නම් 1980 මුල් භාගයේ ඇතිකළ රාගම පුද්ගලික වෛද්‍ය විද්‍යාලය පිළිබඳ සටන යටගොස් තිබියදී 1987 මුල් භාගයේ එය මතුකර ගත්තේ අපය. පසුව ජ.වි.පෙ එය තමන්ගේ සටන් පාඨයක් කරගත්තේ වෛද්‍ය පීඨයේ පළමු හා දෙවන වසරවල ක්‍රියාකාරී සිසුන් දිනා ගැනීමෙනි) බොල්ෂෙවික් කැරැල්ල සඳහා වේගයෙන් ඉදිරියට යමින් සිටි ජ.වි.පෙ විශ්ව විද්‍යාල සමථයකට පත්වීම ඉවසුවේ නැත. ඔවුන් අපට බාදා කිරීමට පටන් ගත්හ.

 

විශ්ව විද්‍යාල සාමකාමී කරගැනීමේ ඉලක්කය දිනා ගැනීමෙන් පසු දෙවැන්න කරළියට ගතිමු. එනම්, මේ අතර ජේ.ආර්. පාලනය පෙරළා දැමීම සඳහා පොදු සන්ධානයක් ඇතිකර ගත යුතුය යන මතයයි. ඒ සඳහා පළමුවෙන්ම ජ.වි.පෙ හා ශ්‍රී.ල.නි.ප එක්විය යුතු බවට මතයක් ඇතිවිය. ගුණදාස අමරසේකර විසින් රචිත “ගණඳුර මැදියම, දකිනෙමි අරුණළු” කෘතියත් නලින්ද සිල්වා මහතාගේ “56 දරුවෝ” සංකල්පයත් මෙයට බොහෝ ඉවහල් විය. ජ.වි.පෙ වෙනත් අරමුණකින් මෙයට එකග විය. එනම් සිය සන්නද්ධ විප්ලවය පෙරට ගෙනයෑම සඳහා වූ ආවරණ ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ බිහිකිරීම සඳහාය. කොටි මෑතක දී දෙමළ සන්ධානය යොදා ගත්තා සේ ශ්‍රී.ල.නි.පය තම අරමුණු සඳහා යොදා ගැනීම ජ.වි.පෙ උපාය විය. ශ්‍රිලනිපයේ උපාය වුයේද ජ.වි.පෙ සරණින් හෝ බලයට පැමිණීමයි. වසර 11 ක් බලය අහිමිවීමෙන් ශ්‍රී.ල.නි.පය බඩගිනි හිවලෙකුගේ තත්ත්වයට වැටී තිබිණි. අපේ අරමුණ වූයේ ජේ.ආර්. හා ඉන්දීය හමුදා යුද්ධයකින් තොරව ඉවත්කර ගැනීමය.

 

ශ්‍රී.ල.නි.ප හා ජ.වි.පෙ අතර මුල්ම සාකච්ජාවට අතරමැදියා වූයේ මාය. එය පැවැත්වුණේ 1988 ජුනි 06 දා රොස්මිඩ් පෙදෙසේ බණ්ඩාරනායක නිවසේදීය. එහිදී අනුර බණ්ඩාරනායක හා ආනන්ද ඉඩමේගම දෙපාර්ශ්වයෙන් හමුවිය. පසුව වෙන නායකයින්ද එයට සම්බන්ධ විය. ඒ දිනවල රුහුණු විශ්ව විද්‍යාලයේ ආචාර්ය සත්‍යපාල වන්නිගම අතුරුදහන් වී තිබූ අතර ඒ පිළිබඳ  සර්වපාක්ෂික හමුවක් පැවැත්විනි. අපි එය පුළුල් දේශපාලන සන්ධානයක් බවට පරිවර්තනය කළෙමු. දේශප්‍රේමි ජාතික පෙරමුණක් පිළිබඳ කුඩා වැඩපිළිවෙළක් මා විසින් කෙටුම්පත්කර අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයට ඉදිරිපත් කර අනුමැතිය ගෙන පසුව සෙසු පක්ෂවලට ඉදිරිපත් කරන ලදී. පේරාදෙණියේ සුදත් බණ්ඩාර, ජයවර්ධනපුර ගාමිණි මාලසිංහ යන සිසු නායකයින්ද එකී සාකච්ජාවලට සහභාගී විය. මෙතරම් තරුණ වියේ දී රටේ ජාතික පක්ෂ සන්ධානයක් සඳහා වූ මූලික ප්‍රතිපත්ති කෙටුම්පතක් සැකසීමට මා හට අවස්ථාවක් ලබාදීම පුදුමයට කරුණක් විය. මෙයම මාගේ භාග්‍යයකි. පසුව සිහළ උරුමයේත්, ඉන්පසුව ජාතික හෙළ උරුමයේත් ප්‍රතිපත්ති කෙටුම්පත් කිරීමටත් ඉන්පසුව මහින්ද චින්තන ප්‍රතිපත්තිය සැකසීමටත් එදා ලද පුහුණුව හා පන්නරය මා හට ශක්තියක් විය.

 

මේ සාකච්ජාව අපූරු දේශපාලන අත්දැකීමක් ගෙන දුන්නේය. සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය, අනුර බණ්ඩාරනායක මහතා, රුක්මන් සේනානායක, ඒ.එච්.එම්.අෂ්රෆ්, කුමාර් පොන්නම්බලම්, චානක අමරතුංග, ඒ.එම්.අසීස්, දිනේෂ් ගුණවර්ධන වැනි නායකයින් රැසක් ඇසුරු කිරීමටත් ඔවුන්ගේ පුද්ගලික රුචි අරුචිකම් දේශපාලන අදහස් ආදිය හඳුනා ගැනීමටත් හැකිවිය. වරක් කුමාර් පොන්නම්බලම්ගේ නිවසේදී එහි වූ ඡායාරූපයක් එතුමා සෙසු අයට පෙන්වීය. එහි තිබුණේ ජී.ජී. පොන්නම්බලම්, බණ්ඩාරනායක, පිලිප් ගුණවර්ධන හා ඩඩ්ලි සේනානායක මහත්වරුන්ගේ සමූහ ඡායාරූපයකි. කුමාර් පොන්නම්බලම් එය පෙන්නා කීවේ ඒ සියල්ලන්ගේ පුතුන් හෝ ඥාති පුතුන් (කුමාර්, අනුර, දිනේෂ්, රුක්මන්) දැන් මෙතැන සිටිනා බවය. නැත්තේ ෙජ්.ආර්.ගේ පුතුන් බවද ඔහු විහිළුවට කීවේය. තව වසර කීපයකින් අපගේ දරුවන්ද එක්වී අප ගැන මේ ලෙසටම කතා කිරීමට ඉඩ සලසනු වස් අපේ සමූහ ජායාරූපයක් ගනිමුයැයි ඔහු යෝජනා කළේය. එවිට මා කීවේ විෙජ්වීරගේ හා ප්‍රභාකරන්ගේ දරුවන් එයට ඉඩදේවි දැයි සිතා බැලීම වඩා සුදුසු බවයි. අපි සියලූ දෙනා හඩ නගා සිනාසුනෙමු. යථාර්ථය නම් විෙජ්වීර හා ප්‍රභාකරන් නියෝජනය කළ ගැමි ගොවි පරපුර කොළඹ 03 - කොළඹ 07 ප්‍රභූ පරපුරට ඉඩක් දීමට සූදානම් නැති බව ඔවුන් එදා තේරුම් නොගැනීමය.

 

මෙහිලා කිවයුත්තේ කුමාර් පොන්නම්බලම් මහතා බොහෝදුරට සිත තුළ ප්‍රභූවාදයක් තබාගෙන නොසිටි අයෙක් බවය. මෙය සිංහල නායකයින්ගේ දකින්නට නොතිබුණු ලකුණක් විය. ඔහු වරක් කීවේ තම නිවසෙහි උඩුමහලේ එල්.ටි.ටි.ඊ හා ප්ලොට් කීපදෙනෙකුට නාවාතැන් දුන් බවත්, රාත්‍රියේ එකට ආහාරගෙන පසුව එළියට ගොස් ඔවුන් වෙඩි තබාගත් බවත්ය. කොළඹ බොහෝ දෙමළ ප්‍රභූ නිවෙස් “කොල්ලන්ට” ඒ දිනවල විවෘතව තිබිණි. ජ.වි.පෙ කැරැල්ල පරාජය වූ පසු (1991 දී) කොළඹ විශ්ව විද්‍යාලය අසල පයින් යමින් සිටි මා දැක සිය ඛෙන්ස් රථය නතර කර දිවඅවුත් හෙතෙම මා වැළඳගත් ආකාරය තවමත් මතකයට එයි. චන්ද්‍රිකාගේ පාතාලය ඔහු මරාදැමූ විට එහි ඇඟිල්ල අප වෙත යොමුකළ අවස්ථාව, වේදනාත්මක අත්දැකීමක් විය.

 

අෂ්රෆ් මහතා සිය උපායන් විවෘතවම අප සමග කතා කළේය. සිංහල - දෙමළ ගැටුම උත්සන්න වනවිට මුස්ලිම්වරු ඉබේම ජයග්‍රාහකයා තීරණය කරන්නා බවට පත්වන බව ඔහුගේ මතය විය. එය තමාගේ උපාය බව ද හෙතෙම ප්‍රකාශ කළේය. දෙමළ ජාතිවාදී ප්‍රහාර නිසා මුස්ලිම් කොංග්‍රසය බිහිවුවත් එය නිතරම සිංහල විරෝධී ලෙස පවත්වා ගැනීම ගැන හෙතෙම සැලැකිලිමත් විය.ඔහු හා රුක්මන් පොදු සන්ධානයෙන් ඉවත්වී ජනාධිපතිවරණයේදී ප්‍රේමදාස මහතාට සහාය දීමට ඉදිරිපත් වූහ.

 

දේශප්‍රේමි පොදු සන්ධානයක් සඳහා වූ සාකච්ජා අසාර්ථක විය. එයට ආසන්නම හේතුව වූයේ කවර පක්ෂයක් හෝ (ආණ්ඩුවක් පිහිට වූ පසු) ඉල්ලා අස් වී ආණ්ඩුව විසුරුවිය යුතු බවට ජ.වි.පෙ ගෙන ආ මතයට ශ්‍රී.ල.නි.පය එරෙහි වීමයි. අනෙක් අතින් ජනපති ශ්‍රි.ල.නි.පයෙන් නම් අගමැති ජවිපෙන් ලෙස වූ බලය ඛෙදාහදා ගැනීමේ ජ.වි.පෙ සුත්‍රයද ශ්‍රී.ල.නි.ප පිළිගත්තේ නැත. සාකච්ජා අසාර්ථක වී ජ.වි.පෙ ඡන්ද වර්ජනයට ගියේය. මම ප්‍රසිද්ධියේම මේ ගැන ජ.වි.පෙ විවේචනය කළෙමි. ප්‍රේමදාස ජනාධිපතිවරණය හා මහා මැතිවරණය යන දෙකම ජයගත්තේය. ජවිපෙ ඡන්ද වර්ජනය ප්‍රේමදාස සිය වාසියට යොදාගත් අතර ජවිපෙට ප්‍රේමදාස සමග සබඳතාවයක්ද විය. සමහර ජ.වි.පෙ නායකයින් අත්අඩංගුවට පත්වූ පසු (1989) තමන්ට ජනාධිපති හමුවිය යුතුයැයි ඉල්ලා සිටි බවද වාර්තා විය. ජවිපෙ උපාය ශිෂ්‍යයින්ට පමණක් නොව රටටම විනාශය කැඳවන්නක් බවත් ජාතිකවාදය, අවිහිංසාවාදය, අපේ මග විය යුතු බවත් පෙන්වන කෘතියක් නිකුත් කළෙමි. එයින් මා උත්සාහ කළේ ජවිපෙ ජාතිකවාදය උපායක් කරගෙන තරුණ ව්‍යාපාරය සියතට ගැනීම වැළැක්වීමත්, වේලූපිල්ලේට හා කොළඹ ප්‍රභූවාදීන්ට එරෙහිව සිංහල ජාතික බලයක් විශ්ව විද්‍යාල තුළ රෝපණය කිරීමත්ය.

 

ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණයෙන් පසු විපක්ෂයේ වෛරය ජ.වි.පෙ වෙතට යොමුවිය. ජ.වි.පෙ කීවේ ප්‍රේමදාස යනු “ලෝකල් කෙරන්ස්කි” බවය. බෝල්ෂෙවික්වරු 1917 දී රුසියාවේ දී හයමසක් ඇතුළත කෙරන්ස්කි බලයෙන්  පහකළ ලෙස ප්‍රේමදාස  ද  බලයෙන්  පහකරනු  ලබන  බව “ප්‍රේමදාසට මාස හයයි” යන්නෙන් ප්‍රකාශ කෙරිණි. විශ්ව විද්‍යාලවල තත්ත්වය වූයේ ජ.වි.පෙට රැහැණිව ශිෂ්‍ය පෙළගැස්මක් ඇතිවීමය. මා විසින් ලියන ලද, චින්තන පර්ෂදය විසින් එළිදක්වන ලද “අපේ මග” කෘතිය ජ.වි.පෙට රැහැණි ජාතිකවාදී ශිෂ්‍ය නායකයින්ගේ අත්පොත විය. 1989 මැයි මස විශ්වවිද්‍යාල විවෘත වූ විට ජ.වි.පෙට එරෙහි කැරැල්ල පුපුරා ගියේය. මොරටු විශ්ව විද්‍යාල සිසුන් අමතා ඉන්දීය හමුදා පිටමං කිරීම හා ජයවර්ධන ඉවත් කිරීම පිළිබඳ වූ අපේ උත්සාහය අසාර්ථක වූ බව ප්‍රසිද්ධියේ පිළිගතිමි. ජවිපෙ සන්නද්ධ උපාය ඉදිරියේ රට විනාශය කරා ගෙනයන නිසා එයින් වලකින ලෙස ද ඉල්ලා සිටියෙමි. පළමු වසරේ ජ.වි.පෙ ක්‍රියාධරයින් කීපදෙනෙකු හැරුණු විට මුළු විශ්ව විද්‍යාලයම ජ.වි.පෙ විනාශකාරී මගින් ගැලවී ගත්තේය. ජ.වි.පෙ තුවක්කු කරුවෝ එවිට සිදුකළේ මහාචාර්ය පටුවටවිතාන මරාදමා විශ්ව විද්‍යාලය වසා ගැනීමය. එය පසුපස සිටි තුවක්කුකරුවා පසුව රූපවාහිනිය ඉදිරියේ ජ.වි.පෙ විවේචනය කළ බව ද දැනගතිමි. එය ඉතිහාසයේ ඛේදවාචකයක් විය. කොළඹ විශ්ව විද්‍යාලයේ ද මෙය සිදුවිය. විද්‍යා පීඨයේ ගෙවිඳු, අනූප, මාලික, රොෂාන් වැනි නායකයින් ඝෘජුව ජ.වි.පෙට එරෙහිව නැගී සිටිනා ලදි. ප්‍රසිද්ධ වාද විවාද කළ නොහැකි වූ ජ.වි.පෙ මහාචාර්ය විජේසුන්දර මරාදමා එම විශ්ව විද්‍යාලය ද වසාගත්තේය. එකී තුවක්කුකරු ද පසුව “අප ගත්මග වැරදිය” යනුවෙන් ජ.වි.පෙ සිර කඳවුරුවල දේශන පැවැත්වීය. කනගාටුවෙන් වුව කිවයුත්තේ බෝල්ෂෙවික් විප්ලවයට සහාය නොදෙන්නන් “අලයින්” ලෙස හඳුන්වමින් මව්බිම නැත්නම් මරණය කියා එදා (1989) උස් හඩින් කෑගැසූවන් පසුව එක්කෝ රජයේ ඔත්තුකරුවන් වූ බව හෝ මව්බිම නැත්නම් පැරීසිය කියා යුරෝපයට පළාගිය බවය.

 

1989 ජුනිමස වනවිට ජ.වි.පෙ සිය කැරැල්ල උත්සන්න කළේය. මේ වනවිට ජ.වි.පෙ විසින්, තමන් මරාදමතැයි බිය වූවන් බොහොමයක්, එක්කෝ විදේශගතවීම හෝ රජයේ ආරක්ෂක අංශ වෙතට නැඹුරුවීම සිදුකළහ. විශේෂයෙන් කොළඹ ස්වාධීන ශිෂ්‍ය සංගමය හා ශ්‍රී ලංකා මහජන පක්ෂයේ පිරිස් වෙනම සන්නද්ධ කල්ලියක් ලෙස ජ.වි.පෙ හෝ ජාතිකවාදී මත දැරූවන් පසුපස පන්නන්ට වූහ. මේ අතර, ජ.වි.පෙ “ජාතික චින්තන නඩය” ලෙස නලින් ද සිල්වා මහතා හා අප සියලූදෙනා නම්කර පත්‍රිකාවක් නිකුත් කළේය. එය එක් ආකාරයකින් අපේ මරණ වරෙන්තුව විය. මෙලෙස අවිහිංසාවාදී වීම නිසා අපි දෙපැත්තේම ගොදුරු බවට පත්වූයෙමු. සෙවන සොය ගිය සෑම තැනකම මරණයේ සෙවනැල්ල අප සොයා ආවේය. වරක් ගල්කිස්සේ එක්තරා විහාරස්ථානයක දී අප ඝාතනය සඳහා බෝම්බයක් අටවන ලෙස තමන්ට උපදෙස් ලැබුණු බව දැනට උපැවිදිව සිටින එවකට භික්ෂූන් වහන්සේ කෙනෙකු වූ කොළඹ විශ්ව විද්‍යාල සිසුවෙකු මා හට කීවේය. මේ අතර, ස්වාධීන ශිෂ්‍ය සංගමය ද අපේ හිස් සොයා “පෙජෙරෝ” වලින් නගරය පීරන්නට වූයේය. කොළඹ විශ්ව විද්‍යාලයේ “හේමන්ත චන්ද්‍රසිරි” පැහැර ගැනීමට ඔවුන් සමත් වූ අතර, ඔහු සොයාගිය මා හා තවත් අපේ හිතවත් වෛද්‍යපීඨ සිසුවෙකු ස්වාධීන ශිෂ්‍ය සංගමයේ මරුවන් අතට පත්විය. අප නිතර සැරිසැරූ කොළඹ විශ්ව විද්‍යාලයේ නීති පීඨ දේශන ශාලාවක් ඇස්වසා විලංගු දමා සිටි අපගේ වධකාගාර නිවාසය බවට පත්විය. එහි ගතකළ මාස තුනක තරම් කාලය අළලා මවිසින් ලියන ලද “අමු සොහොනක විලංගුලා” නම් ලේඛනය දිවයින බදාදා සංග්‍රහයේ පළවීමෙන් බොහෝ දෙනෙක් කැරැල්ල පිළිබඳ නිරුවත් ලේ වැකුණු ඇත්ත දැන ගත්හ. එකී ලිපි පෙළට උදව් කළේ අද අප අතර නැතිමුත් සදා හිතාදර කිත්සිරි නිමල් ශාන්ත මහතාය. අපි අත්අඩංගුවට ගැණුනේ ඔක්තෝම්බර් මසය. නොවැම්බර් වනවිට ජ.වි.පෙ සියලූම නායකයින් එකවැලට අත්අඩංගුවට පත්විය. බොහෝ පිරිසකට මියයන්නට, මරන්නට ජීවය කැවූ ඔවුන් සියල්ලෝම පාහේ අන් සියලූදෙනාම පවා දුන්හ. කොටින්ම ජ.වි.පෙ සැකකරුවන් හඳුනාගැනීම, පහරදීම, වධ දීම, ඝාතනය ආදිය සිදුකළේත් ජවිපෙ නායකයින්ම විසිනි. තව මිනිත්තුවක් හෝ ජීවත් වීම ඔවුනගේ එකම පැතුම වී තිබිණි. ජ.වි.පෙ නායකයින් පෙන්වූ මේ බියගුළු හැසිරීම හා නින්දා සහගත මරණය කවදා හෝ කොටි සංවිධානයේ නායකයින්ට ද අත්වන බව මම විශ්වාස කළෙමි. 2009 මැයි මස ඒ විශ්වාසය ද තහවුරු විය. කොටි නායකයෝද සිය සාමාජිකයින් පාවාදුන්හ.

 

ජ.වි.පෙ තහනම් කර (1983) එය කැරැල්ලට ඇද දැමූයේත්, ඔවුන් ජාතිකවාදී විපක්ෂයේ නායකත්වයට ගෙනාවේත්, ඔවුනගේ සන්නද්ධ ක්‍රියාකාරීත්වයට අවශ්‍ය සමාජ පිළිගැනීම ලබාදුන්නේත් ජේ.ආර්ගේ වැරදි දේශපාලන උපාය විසිනි. ජේ.ආර්ගේ විවෘත ආර්ථීකය තුළ ප්‍රධාන සංචරකය වූ සේවා ආර්ථීකය විසින්, ඇතිකළ ලූම්පන් ධනපතීන් මෙන්ම පීඩිතයින් ද ජ.වි.පෙ මෙන්ම ප්‍රේමදාසගේ ද පදනමක් විය. මර්දනයේදී 1971 මෙන් ගැමි ගොවි වීරත්වයක් 1989 - 90 දී ජවිපෙට ආරෝපණය නොවුණේ මේ ලූම්පන් ක්‍රියාකාරීත්වයේ ගොදුරු බවට ඔවුනගේ නායකයින් හසු වී සිටි නිසාය. ඔවුන් විනාශ කෙරුණේ ද ප්‍රේමදාස - කුරේ හවුල විසින් තනනා ලද “ලෝරන්ස් මාෆියාව” නම් තවත් ලූම්පන් සංවිධානයකින් වීම ද අභාවවාචක ක්‍රියාවක් විය.

 

වරක් 1988 දී ත්‍රීමාවිතාන ඝාතන සිද්ධිය සමයේ දී මා හමු වූ විජය විමලරත්න මහතා ප්‍රකාශ කළේ උතුරේ මෙන්ම දකුණේ කැරැල්ල ද ජයගත නොහැකි (No Win) තත්ත්වයකට පත්ව ඇති බවයි. ත්‍රීමාවිතාන පිළිබඳ පෙළපාළියකට අවසර ගැනීම සඳහා ඔහු හමු වූ විටය ඒ සඳහන කෙරුණේ. ආරම්භයේ දී හමුදා නිලධාරීන් පවා ජ.වි.පෙ ශක්තිය පිළිබඳ අධිතක්සේරුවකට ආවේ ජේ.ආර් ගැන කලකිරී සිටි දැවැන්ත විපක්ෂයක සරණ ඔවුනට ලැබුණු නිසාය. නමුත් ජ.වි.පෙ ගත් අන්තවාදී ඉන්දීය විරෝධයත්, ඉන්දියාවට එරෙහිව එක්සත් ජනපදය සමග හෝ එක්වීමට ඔවුන් දැරූ උත්සාහයත්, කොටි සංවිධානය සමග පවා සන්නද්ධමය සබඳතා පවත්වා ගැනීමත්, 1988 ජනාධිපතිවරණය හා මහා මැතිවරණය කඩාකප්පල් කිරීමත් නිසා විපක්ෂය ජ.වි.පෙන් ඉවත් විය. ජ.වි.පෙ කේඩරයට සීමා වූ පක්ෂයක් විය. මේ වරද ජ.වි.පෙ 2007දී ද කළේය. ඒ රටේ ජාතිමාමක දේශප්‍රේමී ජනයා ජනපති මහින්ද සමග කොටි විරෝධී සටනේ ඉදිරියට යද්දී වර්ජන, තර්ජන, බාධා කිරීම්වලට යෑමෙනි. ඔවුනගේ දැවැන්ත ඡන්ද පදනම ඊළඟ මැතිවරණවලදී කඩාවැටී එය කේඩරයට සීමා වූ පක්ෂයක් විය. (2009 පළාත් සභා මැතිවරණය)

 

මේ අතර, හමුදාවේ විශේෂ ප්‍රහාරක අංශවලින් ජ.වි.පෙ සදාචාරයක් නැති ගරිල්ලා යුද්ධයට (DIARY WAR TACTICS) පිළිතුරක් ලෙස එකී උපක්‍රමයන්ම යොදාගන්නට විය. (MIRROR IMAGE TACTICS) ජ.වි.පෙ මර්දනය සඳහා සියලූ දෙනා අත්අඩංගුවට ගන්නා, විවෘතව වෙඩි තබනා න්‍යාය වෙනුවට තෝරාගෙන විනාශ කිරීම ඇරැඹිණි. රත්මලානේ මුණසිංහගෙන් ඇරැඹුණු එකී ප්‍රතිබිම්බ ප්‍රහාර මාස කීපයකින් විජේවීර - ගමනායක - ඩී.එම්. ආනන්ද දක්වාම ගමන් කළේය. මේ අතර, වෙනත් ප්‍රතිවිරුද්ධවාදීන් ඝාතනයට ද ආණ්ඩුව මෙන්ම වාමාංශික කල්ලි ද උපරිම ලෙස එකී භීෂණ සමය යොදාගත්තෝය. ජවිපෙ ආරම්භය හා බිඳ වැටීම පිළිබඳව “ලේ කඳුළු මැදින්” නමින් ලිපි මාලාවක් “ලක්මිණ” පුවත්පතේ (1991) පළ කළෙමි. එකල සුනිල් මාධවගේ සංස්කරණයෙන් යුතු “ලක්මිණ” පුවත්පත විසිරී ගිය ජ.වි.පෙ ක්‍රියාධරයින් එක්කරන නවාතැනක් ලෙස ද ක්‍රියා කළ අතර, එකී ලිපි පෙළ ඔවුනගේ දැඩි විවේචනයට ද හසුවිය. එයට ලිපි සැපයූවන් අතර, ඩලස් අලහප්පෙරුම මහතා මෙන්ම විමල් වීරවංශ මහතා ද සිටි අතර, එය මුද්‍රණය කළේ තිලක් කරුණාරත්න මහතාගේ ආධාරයෙනි. පසුව නලින් ද සිල්වා හා තිලක් කරුණාරත්න අතර, ඇති වූ ගැටුමකින් පසු අපි එකී පුවත්පතෙන් සමුගතිමු. වධකාගාරයෙන් නිදහස් කෙරුන ද මරණයේ සෙවනැලි අප පසුපස වැටී තිබිණි. එවකට “අතුරුදහන් වී” සිටි මා යළිත් සොයාගන්නට අපේ ලොකු අක්කා ප්‍රමුඛ පවුලේ සැමට එවකට “රාවය” කර්තෘ වූ වික්ටර් අයිවන් මහතාත්, අනුරුද්ධ රත්වත්තේ මහතාත් උපකාර කර තිබිණි. මා පළමු ලිපිය ශිෂ්‍ය ව්‍යාපාරය පිළිබඳව රාවයට ලිවූ අතර, ලක්මිණට සම්බන්ධ වනතෙක් බොහෝ මාතෘකා යටතේ එයට ලිපි ලියූවෙමි. වරක් අයිවන් මහතා විසින්, චන්ද්‍රිකාට පාර කැපීම (1994) සඳහා විවෘත ආර්ථීකය පිළිබඳව කරනා ලද සාවාද්‍ය කරුණු දැක්වීමක් නිවැරදි කරනා ලෙස ඔහුගෙන් ඉල්ලා සිටි අවස්ථාවේ එය ඉටුනොකළ නිසා රාවයට ලිපි සැපයීම නතර කළෙමි. රාවය පුවත්පතක් වූයේ ලලිත් ඇතුළත්මුදලිගේ කැරැල්ල පෙරට ගෙනයෑම සඳහා වූ අතර, එය ඉතා සාර්ථක ලෙස රාවය විසින්, ඉටුකරන ලදී. 2001 දී යූඑන්පීය බලයට ගෙනඒම සඳහා ලසන්ත වික්‍රමතුංග විසින් සිදුකළ මෙහෙයට සමාන මෙහෙයක් 1994 දී චන්ද්‍රිකා බලයට ගෙනඒම සඳහා රාවය විසින් ඉටුකරන ලදී. මෙවැනි විකල්ප මාධ්‍ය ඒවායේ සමාජ කාර්යය ඉටුකරන අවස්ථාවේදී ලාභදායී ව්‍යාපාර ලෙස පවත්වාගෙන ගිය ද බොහෝදුරට නඩත්තු වන්නේ විදේශීය හෝ බෞද්ධ විරෝධී ආගමික කල්ලිවල හෝ සිංහල විරෝධී කල්ලිවල අරමුදල් වලිනි. විටින් විට ප්‍රගතිශීලී වෙස් ගත්ත ද සමස්තයක් ලෙස ඒවා සිය ස්වාමීන්ට සේවය කරති. ඉරුදින, ලීඩර්, යුක්තිය හා රාවය විකල්ප ජනමාධ්‍ය ජනප්‍රිය තේමා ගන්නා අතර, මාධ්‍යවේදී ෆැසිස්ට්වාදයක් ද මුදාහරිති. ජාතිකත්වය පදනම් කරගත් ශක්තිමත් චරිත හා ව්‍යාපාර විනාශ කිරීම ඒ ෆැසිස්ට්වාදයේ මුඛ්‍ය අරමුණයි.

 

@මතු සම්බන්ධයි

නවතම ලිපි